තුන් ඉරියව්වෙන්ම සවිමත් වූ ශ්‍රී ලංකාවට කලකට පසු පූර්ණ තරගාවලි ජයක්

455

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තෙවන එක්දින තරගයේදී ලකුණු 6 ක තියුණු ජයක් ලබාගත් ශ්‍රී ලංකාව කොදෙව් පිලට එරෙහිව 3-0 ක පූර්ණ තරගාවලි ජයක් අත්කර ගත්හ.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය.

තෙවන කඩුල්ල වෙනුවෙන් පන්දු 74 කදී ලකුණු 89 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ කුසල් ජනිත් පෙරේරා (44) සහ කුසල් මෙන්ඩිස්ගේ (55) පිතිහරඹය ශ්‍රී ලංකා කණ්ඩායමේ පදනම විය

එහෙත් ඉනිමේ අවසන් කොටසේදී අලංකාර අර්ධ ශතකයක් ලබාගත් ධනංජය ද සිල්වා (51) සමග එක්ව තිසර පෙරේරා (38) හයවැනි කඩුල්ල වෙනුවෙන් රැස්කළ ලකුණු 64 ක සම්බන්ධතාවද ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම ලකුණු සංඛ්‍යාවට යාමට හොඳ පිටිවහලක් විය.

ඒ අනුව ශ්‍රී ලංකාව සිය පන්දුවාර පනහ අවසානයේ සියලූම දෙනා දැවී ලකුණු 307ක් ලබා ගත්තේය.

ජයග්‍රහණය සදහා ලකුණු 308 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් පිලට නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 301ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම කොදෙව්වන්ද ඕවර 40 ක් අවසානයේදී ලබා සිටියේ ලකුණු 219 කි. එහෙත් අවසන් ඕවර 10 දී කොදෙව් පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 82 කි.

වෙනස වූයේ අවසන් ඕවර 10 න් ඕවර 3 ක් යැවූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 27 කට කඩුලු 3 ක් දවාගැනීමත්, පීඩනය හමුවේ කොදෙව් පිතිකරුවන් තිදෙනකු දුවද්දී දැවීයාමත් අතරය.