රංජන්ගේ හඬපට ලීක් වෙන තැන හෙළිවේ

3729

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විසින් පටිගත කොට දෘඩ තැටි වල ගබඩා කරගෙන සිටි හඬපට නිරාවරණය වීම දැඩි ආන්දෝලනයට තුඩු දේ.

රංජන් රාමනායකගේ හඬපට නිරාවරණය වීම පිළිබඳ පසුබිම් කතාව offair.lk වෙත වාර්තා වේ.

මොහාන් හෙට්ටිආරච්චි යනු රංජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කාර්ය මණ්ඩලයේ ඔහුගේ ලගම හිතවතෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකි.

රංජන් රාමනායක ඉදිරියේදි භාවිතා කිරීමේ අරමුණින් සිය සෑම දුරකථන ඇමතුමක්ම පටිගත කිරීමේ පුරුද්දක් පවත්වාගෙන තිබේ. එහිදි ඔහු එම පටිගත කරනා දුරකථන ඇමතුම් ඉන්පසුව සී.ඩි තැටියකට කවා ගෙන එම සී.ඩි තැටි සුරක්ෂිතව තබා ගෙන තිබේ.

ඒ මොහාන් හෙට්ටිආරච්චිගේ අධීක්ෂණය යටතේය.

පසුගිය නොවෙම්බර් 16 එක්සත් ජාතික පක්ෂය ජනපතිවරණයෙන් ලැබූ පරාජයෙන් පසුව රංජන් රාමනායක විසින් මොහාන් හෙට්ටිආරච්චි සේවයෙන් ඉවත් කර තිබේ.

උරණ වූ මොහාන් හෙට්ටිආරච්චි තමන් සතුව සුරක්ෂිතව තිබූ රංජන් රාමනායකගේ හඬපට තොගයේ පිටපත් ලබා ගෙන තිබේ. ඉන්පසුව ඔහු එම හඬපට පිටපත් යම්කිසි මාධ්‍ය ජාල‍යක හිමිකරුවෙකුට සහ දේශපාලඥයන් කිහිපදෙනෙකුට  ලබා දී තිබේ.

ඉන්පසුව එම මාධ්‍ය ජාලයේ හිමිකරු විසින් මෙම හඬපටයන්ගේ පිටපත් පොලීසියට භාර දී තිබෙන බව වාර්තා වේ.

ඉන්පසුව පොලීසිය විසින් මාදිවෙල පිහිටි රංජන් රාමනායකගේ මන්ත්‍රී නිවාසය වටලා අත්අඩංගුවට ගෙන ඇත්තේ එම හඬපටයන්ගේ මුල් පිටපත්ය.

එම හඬපට ගොන්නට සී.ඩි තැටි 1032ක ප්‍රමාණයක් පවතින බවත්, එහි මුල් පිටපත් අධිකරණයට භාර කර ඇති අතර මොහාන් හෙට්ටිආරච්චි විසින් මාධ්‍ය ආයතන ප්‍රධානියෙකුට සහ දේශපාලඥයන් කිහිප දෙනෙකුට ලබා දුන් හඬපට පිටපත් මේ වනවිට සමාජජාලා මාධ්‍යයන්ට මුදා හැරෙමින් පවති.

එම හඬපට සමාජයට නිරාවරණය වැළැක්වීමට රටේ ඉහළ තනතුරු දරනා පුද්ගල‍යන් පිරිසක් දැඩි උත්සාහයක් ගනිමින් තිබෙන බවත් වාර්තා වේ.  ඒ සඳහා මෙම හඬපටි සහිත පුද්ගලයන්ට මුදල් පවා ගෙවීමට ඔවුන් සාකච්ඡා කරන බවත් සඳහන්.

ඒවා සමාජගත වීම වැළැක්වීමට ඔවුන් උපරිම උත්සාහ දරමින් සිටින බව පැවසෙන්නේ ඒවා හෙළි වුණොත් තම දේශපාලනය මෙන්ම පවුල් ජීවිත පවා අවදානමකට ලක් වේ යැයි බියට පත් වීමෙනි.